නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග 2025 අප්‍රේල් මස 03 වැනි දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් 2025 අප්‍රේල් මස 03 වැනි දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1991 වසරේදී 09 වන කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. ආරක්‍ෂ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක නිලධාරී නාවික අංශය, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ පුහුණු විධායක, විධාන මෙහෙයුම් නිලධාරි (දකුණ), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, ආරක්‍ෂ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නාවික අංශයේ ප්‍රධාන උපදේශක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නාවික හා ගුවන් මෙහෙයුම්), ආඥාපති ගිණිකොණ නාවික පෙදෙස, ආඥාපති උතුරු නාවික පෙදෙස වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.


