සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 15 ක් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 23 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වැනි බඳවා ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් දහතුන් දෙනෙකු (13), 2023 හා 2024 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් විසි තුන්දෙනෙකු (23) සහ එක්සත් ජනපද නාවික විද්‍යාපීඨයේ හා වෙරළාරක්ෂක විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 63 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු (02) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී අනුෂා බානගොඩ මැතිණියගේ සහභාගීත්වයෙන්, 2025 ජූලි මස 26 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

සාර්ථකව පුහුණුව අවසන් කල මධ්‍ය නිලධාරීන් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ පෙළපාලිය අවසන තම දෙමව්පියන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ විසිර යන ලද අතර, විසිර යාමේ පෙළපාලිය පරීක්‍ෂා කළ නාවික හමුදාධිපති, පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් වෙත සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීම සිදුකෙරිණි.

ඒ අනුව, ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වැනි බඳවා ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ දක්ෂතම තාක්‍ෂණික මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ආර්ඩබ්ටීඑස් වඩුගේ වෙතත්, 02/2023 ඉඳුරාම බඳවාගැනීමේ දක්ෂතම ඉලක්කකරුට හිමි සම්මානය වැඩ බලන උප ලුතිනන් ජීජීඩීකේ දයාරත්න වෙත සහ 03/2024 ඉඳුරාම බඳවාගැනීමේ දක්ෂතම ඉලක්කකරුට හිමි සම්මානය වැඩ බලන උප ලුතිනන් ටීඑම්පීඩී තෙන්නකෝන් වෙත පිරිනැමීම එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

මෙහිදී අධිකාරියට පත් නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපති, මෙම ආකර්ෂණීය විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බව පවසන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මව්බිමේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස ක්‍රියා කිරීම සඳහා කැපවූ සේවාවක තීරණාත්මක අවශ්‍යතාවය සහිත කාල පරිච්ඡේදයක, ඒ වෙනුවෙන් මහත් අභිමානයෙන් යුතුව විශිෂ්ඨ සේවයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එක්වීම අගය කරන බව පවසන ලදි. එවැනි විශිෂ්ඨ සේවයක් මව්බිම වෙනුවෙන් ඉටු කිරීම සඳහා, නාවික හමුදා නිලධාරීන්හට තීරණ ගැනීම, මුලපිරීම සහ තම කණ්ඩායමේ උපරිම දායකත්වය මව්බිම වෙනුවෙන් ලබාදීම සඳහා ආදර්ශමත්ව නායකත්වය ලබා දීමට දැඩි කැපවීමක් අවශ්‍ය බව පැවසූ නාවික හමුදාධිපති, දේශයේ ජාතික අරමුණු සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ගෞරවයෙන්, කැපවීමෙන් සහ දැඩි අවංකත්වයෙන් යුතුව මව්බිමට සේවය කිරීම සඳහා, අධිකාරියට පත්ව විසිර යන නිලධාරීන් හට හැකියාව පවතින බව විශ්වාස කරන බවත් පවසන ලදි.

එමෙන්ම, මව්බිම සුරැකීම සඳහා ලෝකයේ වෙනත් වෘත්තීන්ට වඩා වෙනස්, අභියෝගාත්මක සහ ගෞරවනීය වෘත්තියක් වෙනුවෙන් තම දරුවන් නාවික හමුදාවට භාරදුන් අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත ප්‍රශංසාව පුද කරන බව පැවසූ නාවික හමුදාධිපති, ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේදී සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව සාර්ථකව අවසන් කර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගතය භාර ගැනීම සඳහා දක්‍ෂ නිලධාරීන් පිරිසක් නාවික හමුදාවට දායාද කිරීම සඳහා කැපවූ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු පුහුණු උපදේශක මණ්ඩලය වෙත සිය ප්‍රණාමය පිරිනැමීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

එමෙන්ම, නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් සහ සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංදර්ශණයකින් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකෙරුණු හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් අධිකාරියට පත් කිරීමේ උත්සවය නිමාවට පත්විය.

මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා (විශ්‍රාමික), ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර (විශ්‍රාමික), නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනිය අමුත්තන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියහ.