විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය නාවික හමුදා මූලස්ථානයේදී රැස්වෙයි

ශ්‍රී ලංකාව තුල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය සඳහා ජාතික උපාය මාර්ගික සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම හා පාලනය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 03 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ රටතුලට ගෙන ඒම හා පැතිරීම පාලනය කිරීම මෙන්ම, භාවිතය සඳහා යොමු වීම වැලැක්වීම සහ ඒ සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර, රටේ ඉදිරි අභිවෘද්ධිය සඳහා දායක කර ගැනීමත්, එමඟින් රටේ සමාජ හා ආර්ථික සුරක්‍ෂිතතාව උදාකර ගැනීමත් අරමුණුකර ගනිමින්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම හා පාලනය කිරීම සඳහා විවිධ වූ පරාසයන්හී වගකීම් ඉටු කරනු ලබන ආයතනයන් සාමුහිකව ජාතික රාමුවක් තුල ක්‍රියා කිරීමට මෙම කාර්යය සාධන බලකාය පත්කරනු ලැබ ඇත.

මෙම බලකායේ පාර්ශ්වකරුවන් ලෙස; ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කාර්යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක නිවැරදි කිරීමේ දෙපාර්තමේන්තුව, රජයේ රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුව, මහජන ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිසම සහ දුන්කොල හා මත්පැන් පිළිබඳ ජාතික අධිකාරිය කටයුතු කරනු ලබයි.

මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය, වෙළදාම සහ පුනරුත්තාපනය යන පුළුල්වු පරාසය ඒකාබද්ධ වූ ප්‍රයත්නයක් මඟින් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන උපායමාර්ගික ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස්කර ගැනීම, ක්‍රියාත්මක කිරීම සහ පාලනය කිරීම ජනාධිපති කාර්යය සාධන බලකාය වෙත පැවරී ඇත.

ඒ අනුව, ජනාධිපති කාර්යය සාධන බලකායේ පාර්ශ්වකරුවන් විසි දෙදෙනෙකුගේ (22) සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, කාර්යය සාධන බලකායේ වගකීම හා කාර්යභාරය පිළිබඳව පැහැදිලි කල නාවික හමුදාධිපති, රට තුල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම හා පාලනය සඳහා ඒ ඒ පාර්ශ්වයන්ගේ වගකීම්, ඉලක්ක, ප්‍රගතිය සහ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි. තවද, මෙම බලකාය රජයේ මත්ද්‍රව්‍යයෙන් තොර රටක් හා සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහි කිරිමෙහිලා වන රාජ්‍යය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙල වෙනුවෙන් ඇති කැපවීම පිළිබිඹු කරනු ලබයි.