නාවික හමුදාවේ නව නිපැයුම් විශිෂ්ඨත්වය තහවුරු කරමින් වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙනුවෙන් නව මෙහෙයුම් පාලන පද්ධතියක්

නාවික හමුදා විදුලි හා විද්‍යුත් සැලසුම් මධ්‍යස්ථානයේ (Electrical and Electronic Design Centre - ENDC) නව නිපැයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පී 421 වේග ප්‍රහාරක යාත්‍රාව වෙනුවෙන් නිර්මාණය කල නව මෙහෙයුම් පාලන පද්ධතිය (Naval Steering Control-NSC), එම යාත්‍රාව වෙත සවි කිරීමෙන් පසුව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම 2025 අගෝස්තු මස 25 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී සිදුකෙරිණි.

කොළඹ නැව් තටාකාංගනයේදී 2002 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද පී 421 වේග ප්‍රහාරක යාත්‍රාව, වසර 23ක පමණ කාලයක් අඛණ්ඩව නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව මෙහෙයුම් සඳහා දායක වී ඇති අතර, එම යාත්‍රාව නඩත්තු කිරීමේදී අමතර කොටස් හිඟතාවය හේතුවෙන් යාත්‍රාවේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය අපේක්‍ෂිත මට්ටමට පවත්වා ගැනීම අපහසු විය. ඒ අනුව, යාත්‍රාවේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නැගෙනහිර නාවික විධානයේ කොමදෝරු විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් පී 421 යාත්‍රාවේ පැවති පැරණි මෙහෙයුම් පාලන පද්ධතිය වෙනුවට නව මෙහෙයුම් පාලන පද්ධතිය උසස් ප්‍රමිතියෙන් යුක්තව සැලසුම් කර නිපදවීම ආරම්භ කෙරිණි. පද්ධති ක්‍රමලේඛනය, ස්ථාපන ක්‍රමාංකනය සහ නිසි අත්හදා බැලීම් සාර්ථකව සිදුකරමින් මෙම නව මෙහෙයුම් පාලන පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සති හතක් (07) වැනි කෙටි කාලයක් තුලදී නිම කර, මෙලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවීම, එවැනි නිපැයුමක් වෙනුවෙන් නාවික හමුදාවට වැය කිරීමට සිදුවන විශාල විනිමය ප්‍රමාණයක් ඉතිරි කරදීමට සමත් වීමක් ලෙස පමණක් නොව, නාවික හමුදාවේ නව නිපැයුම් විශිෂ්ඨත්වය පෙන්නුම් කිරීමක් ලෙසද සනිටුහන් විය.

එමෙන්ම, මෙම නව මෙහෙයුම් පාලන පද්ධතිය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය තුලින්, තීරණාත්මක මෙහෙයුම් අවශ්‍යතා සඳහා තිරසාර දේශීය විසඳුම් සංවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදා විදුලි හා විද්‍යුත් සැලසුම් මධ්‍යස්ථානයේ තාක්‍ෂණික විශේෂඥතාව, නවෝත්පාදන ධාරිතාව සහ ස්වයං නිෂ්පාදන කෙරෙහි ඇති විශ්වාසය සහ කැපවීමද පිළිඹිඹු වේ.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා දියත් විධානය වෙත අණදෙන ධජ නිලධාරී, කොමදෝරු විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (නැගෙනහිර) ඇතුළු ධජ නිලධාරීන් සහ නාවික තටාකාංගනයට අයත් නාවික පුද්ගලයන් පිරිසක් සහභාගීවී සිටියහ.