ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 306ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු (273) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් තිස්තුන් දෙනෙකු (33) ඇතුළුව, ආධුනික නාවිකයින් තුන්සිය හය දෙනෙකු (306) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂ්මන් අමරසිංහ ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

අභියෝගාත්මක වෘත්තියක් සොයන දැයේ ජවසම්පන්න දූ පුතුනට, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බැඳී, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මව් බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාව අවස්ථාව උදා කර දී ඇත. එහි උපරිම පල නෙලාගත් දූ පුතුන් 306 දෙනෙකු, නිත්‍ය අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 177 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 96 දෙනෙකු ද, ස්වේච්ඡා අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 14 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 19 දෙනෙකු ද වශයෙන් ආධුනික නාවිකයන් 306 දෙනෙකු, 260 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනය වෙත අනුයුක්ත විය.

මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 260 වැනි බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි අයිඑස් දිල්ෂාන් විසින්ද, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එම්ජීඊඑච්එන්එස් මුණසිංහ විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි පීජීකේඩි ජයරත්න විසින් ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එම්එම්එච්එස් පෙරේරා විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි එච්එස්එම් චන්ද්‍රතිලක විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 260 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘හේමමාලී’ අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය.

විසිරයාමේ උත්සවයේදී ආධුනික නාවිකයන් ඇමතූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, අනාගතයේදී ආධුනික නාවිකයන් වෙත පැවරෙන රාජකාරීන් සාර්ථකව සිදුකිරීම සඳහා පුහුණුව තුලින් ලද දැනුම, කුසලතා සහ විනය ශක්තියක් වනු ඇති බවත්, ලබා ගත් පුහුණුව නාවික ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයතයද සාර්ථක කර ගැනීමට මහඟු පිටුවහලක් වනු ඇති බවත්, පවසන ලදි.

නාවික හමුදාවේ රාජකාරීන් සඳහා වැඩි කාන්තා නියෝජනයක් වෙනුවෙන් නාවික හමුදාව අවස්ථාව උදාකර දී ඇති බවත්, අනාගත යුග මෙහෙවරකට උරදීම සඳහා තම දියණියන් නාවික හමුදා සේවයට එක් කිරීමට අනුබලදුන් විසිරයන අධුනික කාන්තා නාවිකයන්ගේ ආදරණීය දෙමාපියන් ඇතුළු, මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දූ පුතුන් නාවික හමුදා සේවය වෙත යොමු කල ආදරණීය දෙමාපියන් වෙත සිය කෘතවේදීත්වය පල කරන බවත් පැවසූ රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල, ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා දායකවූ ශික්‍ෂා ආයතනයේ පුහුණු කාර්යය මණ්ඩලය වෙතද එහිදී සිය ප්‍රණාමය පුද කිරීම, සිදුකෙරිණි.

එමෙන්ම, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ ප්‍රදර්ශනාත්මක අන්ගයකින් ද වර්ණවත් විය.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා සහ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කොමදෝරු ධනේෂ් පද්බේරිය ඇතුළු ධජ නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින්, උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.