ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වැනි වරටත් සංවිධානය කරනු ලබන, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (2025 සැප්තැම්බර් 15) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

රාජ්‍යයන් තිස්හයක (36) සහ ජාත්‍යන්තර සංවිධාන දහහතරක (14) නාවික ප්‍රධානීන්, සමුද්‍රීය ක්ෂේත්‍රයේ ආරක්‍ෂක විශේෂඥයින් සහ මූලෝපායාඥයින් සහභාගී වන මෙම ජාත්‍යන්තර සමුද්‍රීය සම්න්ත්‍රණයේදී, මෙවර තේමාවට අදාලව සාකච්ඡා කරනු ලබන; සමුද්‍රීය පරිසරයේ ආරක්‍ෂාව හා සංරක්‍ෂණය, නීතිමය රාමුව මත පදනම්වූ සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය තිරසාරභාවය සහ සමුද්‍රීය දූෂණයෙන් තොර පිරිසිදු ඉන්දීය සාගර කලාපයක් අනාගත පරම්පරාව වෙත දායාද කර දීම ඇතුළු ඉන්දියානු සාගර කලාපයේ නව ප්‍රවනතා, ආරක්‍ෂක අභියෝග, භූ දේශපාලනික වාතාවරණය කළමනාකරණය කර ගැනීම යන පුළුල් විෂයය ක්ශේත්‍රය පිළිබඳ එහිදි මාධ්‍ය දැනුවත් කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කපිතාන් අතුල ජයවීර, අධ්‍යක්‍ෂ නාවික මාධ්‍ය කොමාණ්ඩර් බුද්ධික සම්පත්, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී මෙහෙයුම් කොමාණ්ඩර් පැතුම් රණවීර සහ මාණ්ඩලික නිලධාරී (නීති සේවා) පරීක්‍ෂණ III ලුතිනන් තානියා එඩ්වඩ් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.