ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Matthew House, ඇතුළු එම තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක්, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ පිහිටි පුහුණු පාසලේහි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

එහිදී, මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන යටතේ, යාත්‍රා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේද සම්බන්ධ පුහුණු කටයුතු සිදුකරනු ලබන විශේෂ යාත්‍රා බලඝන පුහුණු පාසලෙහි පිහිටි “Ship-in-a-Box” පුහුණු සමාකෘතියේ පුහුණු නිදර්ශකයක් නැරඹූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩපැවැත්වීමේ පුහුණු කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම ඇගයීමට ලක් කෙරිණි.

තවද, ඉන්දියානු සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා වෙත එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවද, එහිදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් පවසන ලදි.