“සමුද්‍රීය සංග්‍රාම” පිළිබඳ විශේෂ දේශනයක් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා (විශ්‍රාමික) විසින් නැගෙනහිර නාවික විධානයේදී පවත්වයි

නාවික හමුදා දියත් විධානයේ, නැගෙනහිර නාවික විධානයේ සහ පුහුණුවන නිලධාරීන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරාගේ අධීක්‍ෂණයෙන්, ‍2025 ඔක්තෝබර් මස 04 සහ 05 දෙදින විශේෂ වැඩසටහනක්, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්වුණු අතර, එහි ආරාධිත දේශනය අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා (විශ්‍රාමික) විසින් “සමුද්‍රීය සංග්‍රාම” (Littoral Warfare) යන තේමාව යටතේ සිදුකෙරිණි.

ඒ අනුව, මෙම දේශනය තුළින් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා (විශ්‍රාමික) විසින් ස්වකීය සේවා අත්දැකීම් බෙදා ගනිමින්, සංග්‍රාම නීතිය, මෙහෙයුම් අභියෝග සහ සමුද්‍රීය ආරක්‍ෂාවේදී නාවික හමුදාව සතු භූමිකාව පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සිදුකරමින්, අනාගත සමුද්‍රීය සංග්‍රාමයන්ගේ ස්වභාවය සහ වෙරළබඩ මෙහෙයුම්වල උපායමාර්ගික වැදගත්කම පිළිබඳ නාවික පුද්ගලයින් හට පුළුල් අවබෝධයක් ලබාදීම සිදුකෙරිණි. එමෙන්ම, නාවික හමුදා පුද්ගලයින් අභිප්‍රේරණය කිරීම සහ ඔවුන්‍ගේ ආත්මවිශ්වාසය වර්ධනය කිරීමටද මෙම දේශනය මඟින් මහඟු දායකත්වයක් ලැබිණි.

තවද, මෙම වැඩසටහනට සමඟාමීව අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා (විශ්‍රාමික) විසින් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව නිරීක්‍ෂණය සඳහාද එක් විය.