ශ්‍රී ලංකා - ජපාන නාවික සහයෝගීතාවය ශක්තිමත් කරමින් බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

ශ්‍රී ලංකා සහ ජපාන නාවික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගිය ජපාන සමුද්‍රීය ස්ව්‍යං ආරක්‍ෂක බලකායේ AKEBONO නෞකාව, අද (2025 ඔක්තෝබර් 31) බටහිර මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවිය.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරු කිරීම සහ නාවික ගුවන් මෙහෙයුම් වැනි නාවික අභ්‍යාස සාර්ථකව සිදුකෙරුණු අතර, නෞකා අතර ‍ආචාර හා සමාචාර සිදුකිරීමෙන් පසුව ඒකාබද්ධ අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්විය.

තවද, ‍ මෙවැනි නිල සංචාර මඟින් දෙරටේ නාවික හමුදා අතර, වැඩිදියුණුවන නාවික සහයෝගීත්වය හා අන්තර් ක්‍රියාකාරීත්වය, සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහික ප්‍රවේශයකින් ප්‍රථිචාර දැක්වීමට මහඟු පිටුවහලක් වනු ඇත.