ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය අධාර හා ආපදා සහන සැලසීම සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ; ජනතාව වෙත ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම, පොදු ස්ථාන හා පානීය ජල ළිං පිරිසිදු කිරීම, මාර්ග හා දුම්රිය මාර්ග පිළිසකර කිරීම, පාලම්, ජල පවිත්‍රාගාර හා සොරොව් අළුත් වැඩියාව සඳහා කිමිදුම් සහය ලබාදීම සහ ආපදාවට පත් ජනතාව වෙත සහනාධාර බෙදාහැරීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව දායක වේ.

මේ වන විට (2025 දෙසැම්බර් 13) ආපදාවට පත් පුද්ගලයන් 15,555 ක් නාවික හමුදා යාත්‍රා මඟින් ආරක්‍ෂිතව ප්‍රවාහනය කර ඇති අතර, පානීය ජල ළිං 700ක පමණ ප්‍රමාණයක්, පාසැල් නිවාස හා පොදු ස්ථාන 200කට වැඩි ප්‍රමාණයක් පිරිසිදුකර ජනතාවගේ පරිහරනය සඳහා භාරදීමට කටයුතු කර ඇත.

ඊයේ (2025 දෙසැම්බර් 12) දිනයේත් නාවික හමුදාව, නාත්තන්ඩිය හා හලාවත ප්‍රදේශයේ දුම්රිය මාර්ග පිළිසකර කිරීම සඳහා සහය ලබා දුන් අතර, පේරාදෙණිය සරසවි උයන දුම්රිය පාලම, බොක්කාවල සහ කළුගමුව පාලම් අළුත්වැඩියාව සඳහා සහ මාතලේ ජල පවිත්‍රාගාරයේ දිය යට නඩත්තු කටයුතු සඳහා කිමිදුම් සහය ලබා දීම සිදුකෙරිණි. එමෙන්ම, මුලතිව් නයාරු කලපුව ඔස්සේ ඇති පාලම් කැඩී ඇති බැවින්, නයාරු කලපුව ඔස්සේ කෝකිලායි දක්වා ජනතාව ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සහ මා ඔය පිටාර ගලා ඇති බැවින් පදිවිය ප්‍රදේශයේ ජනතාව ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම නාවික හමුදා යාත්‍රා මඟින් අඛණ්ඩව සිදුකරනු ලබයි.

තවද, ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වියලි ආහාර බෙදීම සහ පාර්සල් සකස් කිරීම සඳහා තලාතුඔය ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වෙත නාවික හමුදා සහය ලබා දුන් අතර, මහනුවර බව්ලාන, මඩවල සහ ගම්පොල ප්‍රදේශයේ ආපදාවට පත් මාර්ග පිරිසිදු කිරීම සහ පිළිසකර කිරීම සඳහා නාවික හමුදා සහය 2025 දෙසැම්බර් මස 12 දිනයේදී ලබා දෙන ලදි.