ශ්‍රී ලංකා නාවික හමුදාව සැපයුම් හා සේවා විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය ක්‍රියාවට නංවයි

රජයේ විද්‍යුත් ප්‍රසම්පාදන (Electronic Government Procurement - e-GP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ මුලපිරීම් හා සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදා සැපයුම් හා සේවා හා සම්බන්ධ විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය සක්‍රීය කිරීම සනිටුහන් කරමින් ක්‍රියාවට නංවන ලද නියමු ව්‍යාපෘතිය පිලිබඳ විශේෂ සාකච්ඡාවක්, 2026 මාර්තු මස 13 වැනි දින නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය සහ වඩාත් විධිමත් හා වගකිවයුතු ප්‍රවේශයක් සහතික කිරීමෙන්; ලේඛන කටයුතු හා සැකසුම් කාලය අවම කිරීම, කඩිනම් තීරණ ගැනීම තුලින් එම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම අපේක්ෂා කර ඇත. එමෙන්ම, ලංසු සහ ඇගයීම් ඇතුළු සියලු ප්‍රසම්පාදන ආශ්‍රිත තොරතුරු මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් හරහා පරිශීලකයින් වෙත සැපයීමත්, අක්‍රමිකතා අවදානම අඩු කිරීම හා සැපයුම්කරුවන් අතර සාධාරණ තරඟකාරීත්වයක් ප්‍රවර්ධනය කිරීමත් එමඟින් සිදු වේ.

තවද, සැපයුම් හා සේවා හා සම්බන්ධ විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය සක්‍රීය කිරීම සනිටුහන් කරමින් ක්‍රියාවට නංවන ලද නියමු ව්‍යාපෘතිය පිලිබඳව පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා සහ සැපයුම් කළමනාකරණ අධ්‍යක්‍ෂකයේ නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.