ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් 04ක් සිඳුරළ නෞකාවෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි
හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත අද උදෑසන (2025 ඔක්තෝබර් 31) රැගෙන විත්, වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සන්නිවේදන සබඳතා ඇනහිට ඇති බවත්, එම යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් පිරිස සොයා ගැනීම සඳහා සහය ලබා දෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකෙරුණු දැනුම් දීමකට ක්‍ෂණිකව ක්‍රියාත්මකවී, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය සහ යාබද කලාප තුල ධීවර හා නාවික ප්‍රජාව දැනුවත් කර අවශ්‍ය ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ කෙෂාන් පුතා 1 බහුදින ධිවර යාත්‍රාව පෙරළී ආපදාවට පත්ව තිබියදී, එහි සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) ඉන්දුනීසියානු ධිවර යාත්‍රාවක් මඟින් බේරා ගැනීමෙන් පසු, MV Graceful Star වෙළද නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
මෙම මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවද යොමු කෙරුණු අතර, කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගත් මෙම ධීවරයින් සිව් දෙනා (04) වෙත මූලික ප්‍රථමාධාර ලබා දී කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමටත්, මෙලෙස වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමටත් නාවික හමුදාවට හැකි විය.
තවද, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කළාපයේ මෙන්ම, යාබද සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කළාපයන්හිදීද ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, සෙවීම් හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.



































