උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ
2020 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 06) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.
නාවික හමුදා සුභසාධක අරමුදලේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන මගින් 2020 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ යුද්ධයේදී ආබාධිත වූ, මියගිය සහ අතුරුදහන්වූ නාවික රණවිරුවන් ගේ මෙන්ම විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් 42 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සිදු කෙරුණි. ඒ අනුව, ශිෂ්‍යත්වලාභී දරුවන් වෙත රුපියල් 50000.00 බැගින් වූ ප්‍රේෂණ පත් ප්‍රධානය කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙලෙස අද දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
තවද, අධ්යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් නෙවිල් උබයසිරි ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම උත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ශිෂ්‍යත්වලාභී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

















































