ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 මැයි මස 07 වන දින ශ්‍රී ලංකාවට වයඹ සහ බටහිර දෙසින් වූ මුහුදු තීරයන් හි සිදුකළ මුර සංචාරයන් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් සහ ළූණු බීජ කිලෝග්‍රෑම් 522 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

">

රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ ළූණු බීජ තොගයක් වයඹ සහ බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 මැයි මස 07 වන දින ශ්‍රී ලංකාවට වයඹ සහ බටහිර දෙසින් වූ මුහුදු තීරයන් හි සිදුකළ මුර සංචාරයන් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් සහ ළූණු බීජ කිලෝග්‍රෑම් 522 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම මෙන්ම එම ජවාරම් කරුවන් මඟින් සහ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානම මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව මුර සංචාර වැඩි කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. ‍එහිදී නීති විරෝධී ජාවාරම් සිදුවීමේ සහ අනවසර සංක්‍රමණිකයන් පැමිණීමේ වැඩි අවධානමක් පවතින උතුරු සහ වයඹ මුහුදු තීරයන් ඇතුළු දිවයින වටා වූ මුහුදු තීරයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ මුර සංචාර සිදු කරමින් ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව. 2021 මැයි මස 07 වන දින කුදිරමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ දී සිදු කළ මුර සංචාරයකදී අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නීරීක්‍ෂණය කළ අතර, එම යාත්‍රාව ඉන්දීය ජාතිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත විය. පසුව සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී යාත්‍රාව තුළ තිබූ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන මලු 06 ක පාර්සල් 118 ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 235 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 70කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, එදින මීගමුව තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ තවත් මුර සංචාරයකදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම යාත්‍රාවේ තිබූ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ පාර්සල් 20ක අසුරන ලද ළූණු බීජ කිලෝග්‍රෑම් 522 ක පමණ තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනෙකු (02) එම ඩිංගි යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මුර සංචාර මගින් නාවික හමුදා භාරයට ගත් එම කේරළ ගංජා තොගය පවත්නා කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැළකිල්ලට ගනිමින් ගිනි තබා විනාශ කිරීමටත්, එම යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් 07 දෙනා ඉන්දීය මුහුදු කලාපයට පිටත්කර යැවීමටත් කටයුතු කරන ලදි. තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද ළූණු බීජ තොගය, සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.