පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරෙන් විපතටපත් 29 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර හා ගලවා ගැනීම් ඒකකයට අයත් කණ්ඩායම් ඇතුළු නාවික හමුදා සහන කණ්ඩායම් 16ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරට කොටු වි අවධානම් තත්ත්වයේ සිටි කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 29 දෙනෙක් 2021 ජුනි 04 දින මුදා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කෙරිණි.

ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ කීරීයංකල්ලි, පුලිච්චිකුලම් සහ බත්තුලුඔය යන ප්‍රදේශ වල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගං වතුරට කොටු වි ජීවිත අවධානමට මුහුණ දී සිටි පවුල් 10කට අයත් එම කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 29 දෙනා නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කඩිනමින් මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

එමෙන්ම ඇති වි ඇති ගං වතුර තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සදහා බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කය තුල ගම්පහ, ජා ඇල, රාගම, බුලත්සිංහල, පරගොඩ යන ප්‍රදේශ වල ද, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ට අයත් තවලම, හිනිදුම, නාගොඩ, ඒප්පල, ඇතිමලේ සහ අතුරලිය යන ප්‍රදේශ ද, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කිරියංකල්ලි, පුලිච්චිකුලම් සහ බත්තුලුඔය යන ප්‍රදේශ ද, සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත සහ කලවාන ප්‍රදේශද ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් සහන කණ්ඩායම් යොදවා ඇත.

තවද, අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරිම සඳහා නාවික හමුදාව විසින් තවත් අමතර සහන කණ්ඩායම් සුදානමින් තබා ඇත.