ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය, කෝවිලන් සහ පේදුරු තුඩුව ප්‍රදීපාගාරයන්ට ඔබ්බෙන් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 21ක් 2022 ජනවාරි මස 31 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදේශිය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග මුර යාත්‍රාවක් යොදවා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේද සහය ඇතිව යාපනය, කෝවිලන් සහ පේදුරු තුඩුව ප්‍රදීපාගාරයන්ට ඔබ්බෙන් වු මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුම මඟින් මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) සහ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 21 දෙනෙකු මෙලෙස 2022 ජනවාරි මස 31 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙහිදී එම ඉන්දීය ටෝලර් යාත්‍රා නාවික හමුදා යාත්‍රා මඟහැර පැනයාම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රා හසුරවමින් ආවේගශීලී ලෙස හැසිරීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවටද අලාභහානි සිදුවිය.

මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද එම ධීවර යාත්‍රාවන් තුල නීතී විරෝධී bottom trawling ධීවර ආම්පන්න සමඟ එම පන්න ක්‍රමය භාවිතා කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින් ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට විදෙස් ධීවරයින් ඇතුළුවී සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු සහ නීති විරෝධී ක්‍රියා මැඩපවත්වා මෙරට මත්ස්‍ය සම්පත මෙන්ම දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.