ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 11ක් 2022 පෙබරවාරි මස 07 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදේශිය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මෙම මෙහෙයුම මඟින් අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී bottom trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) සමඟ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 11 දෙනෙකු මෙලෙස 2022 පෙබරවාරි මස 07 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ටෝලර් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට විදෙස් ධීවරයින් ඇතුළුවී සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු සහ නීති විරෝධී ක්‍රියා මැඩපවත්වා මෙරට මත්ස්‍ය සම්පත මෙන්ම දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.