රුපියල් මිලියන 6.5කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02ක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, නෙල්ලිඅඩි ප්‍රදේශයේ 2022 පෙබරවාරි මස 14 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 817 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු හා උතුරු මැද නාවික විධානයන්, පොලිස් විශේෂ කාර්යබලකාය සමඟ එක්ව 2022 පෙබරවාරි මස 14 වන දින පේදුරුතුඩුව, නෙල්ලිඅඩි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදි, සැකකටයුතු යතුරු පැදියක් පරීක්‍ෂාවට ලක් කිරීමේ දී, එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා විසින් සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 817 ක පමණ ප්‍රමාණයක්, එම සැකකරුවන් සහ යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 6.5කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වසය අවුරුදු 23ත් 33ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ කුඩත්තේණි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය, සැකකරුවන් දෙදෙනා, සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා නෙල්ලිඅඩි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.