ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ඩව් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු, අද (2022 පෙබරවාරි 19) අළුයම නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන තර්ජන මැඩපැවැත්වීමේ අරමුණින්, විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් විසින් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයක් අතරතුරදී අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 06 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රාව සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සුරක්‍ෂිතභාවය සහ මෙරට මත්ස්‍ය සම්පත රැකගනිමින් දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම සඳහා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි. ඒ අනුව, නාවික හමුදා භාරයටගත් මෙම ඩව් යාත්‍රාවද සමඟ 2022 පෙබරවාරි මස ගත වූ කාල සීමාව තුලදී පමණක්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට අතුළුව අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා හයක් (06) ක් සමඟ එම යාත්‍රාවන්ගේ සිටි ඉන්දීය ධීවරයන් 29 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.