මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115ක් පමණ (කිලෝ මීටර් 213ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2022 පෙබරවාරි 21) උදෑසන කටයුතු කරන ලදී.

ගාල්ල ධීවර වරායෙන් 2022 පෙබරවාරි මස 08 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රාජා 01’ (ලියාපදිංචි අංක IMUL-A-0105 KLT) නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හදිසියේ රෝගි තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්ත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට දකුණු නාවික විධානයට අනුයුක්ත, හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනයට අයත් පී 485 යාත්‍රාව එම මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදි. අනතුරුව රෝගී තත්ත්වයේ සිටි ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ගාල්ල වරාය වෙත වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.