උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු, 2022 පෙබරවාරි මස 23 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන තර්ජන මැඩපැවැත්වීමේ අරමුණින්, විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් විසින් උතුරු මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් සහ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයන්හි, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී bottom trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා දෙකක් (02) සමඟ එම යාත්‍රාවන්හි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 22 දෙනෙකු සහ ඔවුන් විසින් නීති විරෝධී ලෙස අල්ලනු ලැබූ මත්ස්‍යයින් තොගයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ටෝලර් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

ඒ අනුව, නාවික හමුදා භාරයටගත් මෙම ටෝලර් යාත්‍රා 02 ද සමඟ 2022 පෙබරවාරි මස ගත වූ කාල සීමාව තුලදී පමණක්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට අතුළුව අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 08 ක් සමඟ එම යාත්‍රාවන්ගේ සිටි ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සුරක්‍ෂිතභාවය සහ මෙරට මත්ස්‍ය සම්පත රැකගනිමින් දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම සඳහා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.