ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය ( SLINEX) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ඉන්දු- ලංකා නාවික අභ්‍යාසය, (SLINEX) 2022 මාර්තු මස 07 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව සහභාගී විය.

09 වන වරට පවත්වන ලද ‘SLINEX’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය වරාය අධියර සහ මුහුදු අධියර ලෙස අධියර දෙකකින් සමන්විත වූ අතර, අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් Corvette වර්ගයට අයත් ‘INS KIRCH’ සහ Fleet support tanker වර්ගයට අයත් ‘INS JYOTI’ යන නෞකා සමඟ හෙලිකොප්ටර් යානා කිහිපයක් හා ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් එක්විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සමුද්‍රීය සහයෝගිතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම ‍හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් සිදු කරනු ලබන මෙම ද්වීපාර්ශවික අභ්‍යාසයේ වරාය අධියර 2022 මාර්තු මස 07 සහ 08 යන දෙදින තුළ ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී පැවැත්වුණි. එහිදී නාවික ශිල්පීය දැනුම හා ක්‍රමෝපායයන් හුවමාරු කරගැනීමේ අභ්‍යාස මෙන්ම දෙරටේ නාවික හමුදාවන් අතර සුහඳත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරන ලද විවිධ සංස්කෘතික හා ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. අනතුරුව 2022 ‍මාර්තු මස 09 සහ 10 යන දෙදින තුළ නැගෙනහිර ඉන්දීය ‍බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී අභ්‍යාසයේ මුහුදු අධියර පැවැත් වූ අතර, එහිදී මුහුද මතුපිට සහ ගුවන් ඉලක්ක වෙත වෙඩි තැබීමේ අභ්‍යාස, නෞකා මත හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීම ඇතුළු සාගරික ගුවන් මෙහෙයුම් අභ්‍යාස, නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර භාණ්ඩ හුවමාරුව, විශේෂ සාගරික මෙහෙයුම්හි අභ්‍යාස, නෞකා වෙත ප්‍රවිෂ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ (VBSS) ක්‍රමොපායන් වැනි නාවික අභ්‍යාස රැසක් සිදු කෙරිණි.

මෙම ඉන්දු ලංකා ද්විපාර්ශවික අභ්‍යාසය මගින් ඒකාබද්ධ නාවික මෙහෙයුම් සිදු කිරීමේදී ස්වකීය හැකියාවන් පිළිබඳ දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කර ගැනීමටත්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මහගු අවස්ථාවක් උදා වූ අතර, එමඟින් ඉදිරියේදී කළාපීය පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත.