රුපියල් මිලියන 52 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2022 මාර්තු 18) මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා සහ ශ්‍රීලංනානෞ ගජබා ආයතනයන් එක්ව පී 148 වෙරළබඩ මුර යාත්‍රාව සහ විශේෂ යාත්‍රා බලඝණයේ කුඩා යාත්‍රා යොදවා අද සන්ධ්‍යා කාලයේ (2022 මාර්තු 18) මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර එහි ගෝනි උර 6ක් තුල අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 52 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම විශේෂ මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 34 යන වයසේ පසුවන වන වංකාලේපාඩු, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.