රුපියල් මිලියන 20 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යාපනය, කොවිලන් ප්‍රදීපාගාරය‍ට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2022 මාර්තු 31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම් 600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 409 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අද උදෑසන (2022 මාර්තු 31) යාපනය, කොවිලන් ප්‍රදීපාගාරය‍ට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර එහි ගෝනි උර 2ක් තුළ පාර්සල් 30ක් වශයෙන් අසුරා මෙරටට රැගෙන ඒමට උත්සාහ කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම් 600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 409 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 20 කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 සහ 24 යන වයසේ පසුවන වන මුලතිවු සහ මාදගල් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය, පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ෂණ කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.