රුපියල් ලක්‍ෂ 76කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු තලෛයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ අද දින (2022 අප්‍රේල් 08) උදෑසන සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 956ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් මඟින් අද දින (2022 අප්‍රේල් 08) උදෑසන තලෛයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 956ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව, එම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය, ඩිංගි යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) ඔවුන් සතුව තිබූ අනෙකුත් උපකරණ සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 7.6 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වසය අවුරුදු 37 සහ 45 යන වයස් වල පසුවන තලෛයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව, සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.