ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට 2022 අප්‍රේල් මස 10 වන දින නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

ගාල්ල ධීවර වරායෙන් 2022 අප්‍රේල් මස 07වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් 05 දෙනෙකු රැගත් බහු දින ධීවර යාත්‍රාවක් (මදුෂාන් 14 - ලියාපදිංචි අංක IMUL-2180 GLE) ගාල්ලට ඔබ්බෙන් මුහුදු සැතපුම් 40ක් පමණ (කිලෝ මීටර් 74ක් පමණ) දුර ගැඹුරු මුහුදේ සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළි එහි සිටි ධීවරයින් අනතුරට පත්ව ඇත. අනතුරුව එම ප්‍රදේශයේ තිබූ වෙනත් බහුදින ධීවර යාත්‍රාවක් මගින් අනතුරට පත් වූ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) බේරා ගැනීමට සමත් වී ඇති අතර, එක් ධීවරයෙකු අනතුර හේතුවෙන් අතුරුදන්වී ඇත.

මේ සම්බන්ධයෙන් 2022 අප්‍රේල් මස 09 වන දින රාත්‍රියේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානය වෙත සිදු කරන ලද දැනුම් දීමකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් ආපදාවට පත් යාත්‍රාවේ සිට අතුරුදන්ව සිටි ධීවරයා සෙවීමේ කටයුතු සඳහා සහ වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් බේරා ගත් ධීවරයින් සිව්දෙනා (04) ගොඩබිමට රැගෙන ඒම සඳහා එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව එම වේග ප්‍රහාරක යාත්‍රාව මගින් අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිට බේරාගනු ලැබූ ධීවරයන් සිව්දෙනො (04) නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අතුරුදන් වූ ධීවරයා සෙවීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටී.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සුදානමෙන් සිටී.