රුපියල් මිලියන 08ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (2022 අප්‍රේල් 11) උදෑසන සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් 01ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ වසඹ ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රාවක් මඟින් අද (2022 අප්‍රේල් 11) උදෑසන යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් 01ක පමණ ප්‍රමාණයක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 08 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 36ත් අතර වයසේ පසුවන පුනරීන් සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.