ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට බස්නාහිර සහ දකුණු පළාත්හී ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට කටයුතු කර ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස්මත හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැළසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදා ගැනීම සඳහා බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, කළුතර බුලත්සිංහල සහ පරගොඩ ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් 01 බැගින් ද යොමු කර ඇති අතර, දකුණු නාවික විධානය මගින් ගාල්ල තවලම සහ නාගොඩ ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් 02 බැගින් යොමු කර ඇත. ඒ අනුව මේ වන විට කළුතර, පරගොඩ ප්‍රදේශයේ ඇතිව ඇති ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශය වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම මඟින් මේ වන විට ජනතාව වෙත අවශය සහන සලසමින් සිටියි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද, දකුණු නාවික විධානයේ සහන කණ්ඩායම් 06ක් ද, වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද මේ වන විටත් සූදානමින් තබා ඇත.