මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටියදී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2022 මැයි 15) සවස් කාලයේදී කටයුතු කරන ලදී.

ත්‍රීකුණාමල ධීවර වරායෙන් 2022 මැයි මස 02 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘සින්දූර් 04’ (ලියාපදිංචි අංක IMUL-A-0006 GLE) නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හදිසියේ රෝගි තත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථාන මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්ත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත, ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි වේග මුර නෞකාව එම මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදී. ඒ අනුව, මඩකළපුව, වාලච්චේන ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 18ක් පමණ (කිලෝ මීටර් 33ක් පමණ) දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී එම රෝගී ධීවරයා රණරිසි නෞකාව වෙත ලබා ගැනීමෙන් පසු ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් වාලච්චේන ධීවර වරාය ආසන්නයට රැ‍ගෙන ඒමෙන් අනතුරුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්ථමේන්තුවට අයත් කුඩා යාත්‍රාවක් මඟින් ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ධීවරයා වාලච්චේන මුලික රෝහල වෙත යොමු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.