නාවික හමුදා සහන කණ්ඩායම්, ගංවතුරෙන් පීඩාවට පත් පාසැල් දරුවන්හට සහන සලසයි

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසැල් දරුවන් හට සහන සැලසීමට 2022 මැයි මස 24 දින නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස්මත, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැළසීම සඳහා පුත්තලම ප්‍රදේශය වෙත යොමු කරන ලද නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් 2022 මැයි මස 24 දින, ප්‍රදේශයේ ඇතිව තිබූ ජල ගැලීම් තත්වය හමුවේ පුත්තලම සහිරා විද්‍යාලය සහ හින්දු විද්‍යාලයෙහි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් හට විභාග මධ්‍යස්ථාන වෙතින් නිවෙස් බලා යෑමට පහසුකම් සැලසීම මෙලෙස සිදු කෙරිණි.

එමෙන්ම, කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී කලවාන ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට සිදුවිය හැකි අපහසුතාවය වැලැක්වීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම්හි සේවය ලබා දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දැක් වූ නාවික හමුදාව, රත්නපුරය, කලවාන ප්‍රදේශයේ දෙල්ගොඩ විහාරස්ථානය වෙත නාවික හමුදා සහන කණ්ඩායමක්, 2022 මැයි මස 24 දින රාත්‍රියෙහි ස්ථානගත කිරීමට ද කටයුතු කරන ලදී. අද උදෑසන (2022 මැයි 25) එම සහන කණ්ඩායම විසින් කලවාන ප්‍රදේශයේ දැනට ඇති වී ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට අවශ්‍ය සහන සැලසීම සිදු කෙරිණි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට තවත් නාවික හමුදා අමතර සහන කණ්ඩායම් සූදානමින් තබා ඇත.