රුපියල් මිලියන 120 කට ආසන්න විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ අද (2022 ජුනි මස 19 වන දින) අළුයම සිදුකළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 (තෙ‍ත බර සහිතව) ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් හා මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මඟින් උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ අද (2022 ජුනි මස 19 වන දින) අළුයම සිදු කරන ලද පාමුර සංචාරයකදී මුහුදු වෙරළට ගසාගෙන විත් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 (තෙ‍ත බර සහිතව) ක පමණ තොගයක් අඩංගු පාර්සල් 173 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙම කේරළ ගංජා ‍තොගය නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා පලා යන්නට ඇතැයි විශ්වාස කරන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 120 කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මේ වන විට උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ නාවික හමුදාව වැඩිදුර සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා උඩප්පුව පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.