අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 54 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 ජුනි 27) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 54 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාව අද අළුයම (2022 ජුනි 27) මඩකලපුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව පිරිමි පුද්ගලයන් 52ක් සහ කාත්තාවන් 02ක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, වයස අවුරුදු 19 ත් 53 ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, මඩකලපුව, ත්‍රීකුණාමලය, මුලතිව් හා යාපනය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

මෙවැනි අනවසර සංක්‍රමණිකයන් සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබයි. එබැවින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු පවසා ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි. එමෙන්ම මෙලෙස අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් නිතී විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ දැරීමෙන් තම ජීවිත විශාල අවදානමකට ලක්වන බවත් නාවික හමුදාව මහජනතාව වෙත වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.