අනතුරට පත්ව සිටි ධීවරයින් තිදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය මුහුදේදී නිරුපද්‍රිතව මුදවා ගැනේ

ත්‍රිකුණාමලය පිටත වරාය ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී, අනතුරට පත් වූ කුඩා ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු (03) නිරුපද්‍රිතව බේරා ගැනීම‍ට ශ්‍රි ලංකා නාවික හමුදාව 2022 අගෝස්තු 02 වන දින කටයුතු කරන ලදි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් පී 244 වෙරළබඩ මුර යාත්‍රාව, ත්‍රිකුණාමලය පිටත වරාය මුහුදු ප්‍රදේශයේ 2022 අගෝස්තු 02 වන දින උදෑසන මුර සංචාරයේ යෙදී සිටියදි, එම මුහුදු ප්‍රදේශයේ පෙරලී අනතුරට පත්වූ කුඩා ධීවර යාත්‍රාවක් නිරික්ෂණය කරන ලදී. ඒ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ‍ එම අනතුරට පත්ව තිබූ යාත්‍රාවේ සිට මුහුදට වැටී සිටි ධීවරයින් තිදෙනෙකු (03) මුදවා ගෙන නිරුපද්‍රිතව ගොඩබිම වෙත යොමු කිරීමට මෙලෙස ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

නාවික හමුදාව විසින් බේරාගනු ලැබූ ධීවරයින් තිදෙනා ත්‍රිකුණාමලය චීන වරාය සහ කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනා ගන්නා ලදී.

තවද, ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ශ්‍රි ලංකාවට අයත් සාගරික සෙවිම් හා මුදවා ගැනීම් කළාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන කඩිනමින් සැලසීමට නිරන්තර සූදානමින් සිටී.