මුහුදේදී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රවක් සමඟ මියගිය ධීවරයෙකුගේ දේහය ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 68 ක් පමණ (කිලෝ මීටර් 125 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව 2022 අගෝස්තු මස 11 වන දින රාත්‍රීයේදී කටයුතු කරන ලදී.

බේරුවල ධීවර වරායෙන් 2022 අගෝස්තු මස 07 වන දින ධීවර කටයුතු සඳහා ධිවරයන් පස්දෙනෙකු (5) සමග පිටත්ව ගොස් තිබූ ‘SERAN 1’ (ලියාපදිංචි අංක IMUL-A-0446 KLT) නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු මුහුදේ දී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් මියයාම නිසා එම යාත්‍රාව නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී, යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව අතරමංව ඇති බවට, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ආපදාවටපත් ධිවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමභාහු නෞකාව එම යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදි. ඒ අනුව, මුහුදේ පැවති රළු ස්වභාවය ‍හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා එම ධිවර යාත්‍රාව එහි නිරුපද්‍රිතව සිටි ධීවරයන් හතර දෙනෙකු (4) සමග 2022 අගෝස්තු මස 11 වන දින රාත්‍රීයේදී ගාල්ල ධිවර වරායට රැගෙන ආ නාවික හමුදාව, මියගිය ධීවරයාගේ දේහය ඉදිරි කටයුතු සඳහා පවුලේ ඥාතීන් මඟින් ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම, මෙම සිදුවීම පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ගාල්ල වරාය පොලීසිය වෙතින් සිදුකිරීමට නියමිතය.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.