මුහුදේදී අනතුරට පත් මෙරට ධීවර යාත්‍රවක සිටි ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව මුදා ගනී

දෙවුන්දර සිට නාවික සැතපුම් 18.5 ක් පමණ (කිලෝ මීටර් 34 ක් පමණ) දුරින් වු දකුණු මුහුදු ප්‍රදේශයේ දී අනතුර‍ට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) නිරුපද්‍රිතව මුදවා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (2022 අගෝස්තු 19) උදෑසන කටයුතු කරන ලදී.

කුඩාවැල්ල ධීවර වරායෙන් 2022 අගෝස්තු මස 16 වන දින ධීවර කටයුතු සඳහා ධිවරයන් හය දෙනෙකු (6) සමග පිටත්ව ගොස් තිබූ ‘දිලීෂ පුතා II’ (ලියාපදිංචි අංක IMUL-A-1024 MTR) නැමැති බහු දින ධීවර යාත්‍රාව නෞකාවක ගැටී ගිලෙමින් ඇති බවට එම ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් 2022 අගෝස්තු මස 18 වන දින රාත්‍රියේ කුඩාවැල්ල ධීවර වරායේ වෙරළාක්‍ෂක දෙපාර්තමේන්තු ධීවර පිරික්‍ෂුම් මධ්‍යස්ථානය දැනුවත් කර ඇත. ඒ අනුව, වෙරළාක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානය වෙත සිදුකල දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරනු ලබන නෞකා වෙත සිද්ධිය සම්බන්ධයෙන් ආපදා සංඥාවක් නිකුත් කරන ලදි.

අනතුරුව, අනතුරට පත් ධිවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) මුදවා ගැනීම සඳහා දකුණු නාවික විධානයට අයත් හතර වන වේග ප්‍රහාරක බළඝණයේ පී 472 වේග ප්‍රහාරක යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදි. ඒ අනුව, අද (2022 අගෝස්තු 19) අළුයම එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) පී 472 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් පසු, තංගල්ල ධීවර වරායට රැගෙන විත්, තංගල්ල මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙ‍රිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටී.