රුපියල් මිලියන 11 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලාලි කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කිලාලි, කලපු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 05 වන දින රාත්‍රී කාලයේ සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 37 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) කිලාලි, මනල්කාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනයේ කිලාලි අනුඛණ්ඩය මඟින් කිලාලි, කලපු ප්‍රදේශයේ පාමුර සංචාරයක් සිදුකරන ලදි. එහිදී, කිලාලි කලපුවේ මනල්කාඩු වෙරළ ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට සැකකටයුතු ලෙස පුද්ගලයන් දෙදෙනෙකු (02) විසින් රැගෙන යමින් සිටි උර 02 ක් පරීක්‍ෂා කර, එම උර තුල පාර්සල් දහනවයක (19) අසුරන ලද කේරළ ගංජා කිලෝ 37 ග්‍රෑම් 700 ක පමණ තොගයක් සමඟ එම සැකකරුවන් දෙදෙ‍නා (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 11 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) අවුරුදු 17 සහ 29 යන වයසේ පසුවන කිලාලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සහ කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.