මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2022 සැප්තැම්බර් 06) පස්වරුවේ මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින්, මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්‍ෂණය කර, එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා අද (2022 සැප්තැම්බර් 06) පස්වරුවේ සිදුකරන ලදී. එහිදී, මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) සහ ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනා (12) මේ වන විට ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය වෙත රැගෙන එමින් සිටින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින්, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් ඉදිරියටත් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.