නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 85 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 සැප්තැම්බර් 11) අළුයම සිදුකළ මුර සංචාරයක් අතරතුර, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 85 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව මගින් මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අද (2022 සැප්තැම්බර් 11) අළුයම නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන යාත්‍රවේ ක්‍රියාකරුවන්ද සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් හැට දෙනෙකු (60), කාත්තාවන් දහහතර දෙනෙකු (14) සහ වයස අවුරුදු 18 ට අඩු එකළොස් දෙනෙකු (11) ඇතුළු පුද්ගලයන් 85 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස මඩකලපුව, ත්‍රීකුණාමලය, මූතූර්, කිලිනොච්චිය, යාපනය සහ මඩු යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදි. එමෙන්ම එම පිරිස සහ බහුදින ධීවර යාත්‍රාව මේ වන විට ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙන එමින් පවතින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලීසිය වෙත භාර දීමට නියමිතය.

මීට අමතරව, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මඩකලපුව මොහොත්තිවාරම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් රණවික්‍රම නෞකාව මගින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව වෙත ගොඩබිම සිට පුද්ගලයින් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රා හතරක් (04) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගත් අතර, එම සැකකරුවන් සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කාත්තන්කුඩි පොලීසිය වෙත භරදීමට කටයුතු කෙරිණි.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් මෙන්ම නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන්ද වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.