මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 65 ක් පමණ (කිලෝ මීටර් 120 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2022 සැප්තැම්බර් 23) දින අළුයම කටයුතු කරන ලදී.

නිල්වැල්ල ධීවර වරායෙන් 2022 අගෝස්තු මස 07 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘දිණුදිය’ (ලියාපදිංචි අංක IMUL-A-1318 MTR) නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්ත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත, ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව එම මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදි. ඒ අනුව, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා 2022 සැප්තැම්බර් 22 වන දින රාත්‍රීයේ රෝගීවූ ධීවරයා ත්‍රීකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැතපුම් 65 ක් පමණ (කිලෝ මීටර් 120 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවට ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (2022 සැප්තැම්බර් 23) දින අළුයම ත්‍රීකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටී.