නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 12 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් 22 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මගින් මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් මස 22 වන දින රාත්‍රී කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වෙරළ තීරයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් පිරිසක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා රැඳී සිටි බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (02), කාත්තාවන් තිදෙනෙකු (03) සහ වයස අවුරුදු 18 ට අඩු අයවළුන් හත්දෙනෙකු (07) ඇතුළු පුද්ගලයන් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භරදීමට කටයුතු කෙරිණි.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර තම ජීවිතය අවධානමකට පත්කර ගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන්ද වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.