රුපියල් මිලියන 46 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නොරොච්චෝලය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ අද (2022 සැප්තැම්බර් 23) දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 155 කට අධික තොගයක් සහ මෝටර් රථ දෙකක් (02) , යතුරු පැදි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලද අතර, එහිදී නිවසක් අසළ නවතා තිබූ මෝටර් රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ, පාර්සල් හැත්තෑ අටක (78) අසුරන ලද කේරළ ගංජා කිලෝ 155 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙ‍නෙකු (02) එම මෝටර් රථය (01) සහ මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන තවත් මෝටර් රථයක් (01) සහ යතුරු පැදි දෙකක් (02) එම ස්ථානයේ තිබී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 46 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) අවුරුදු 35 සහ 40 යන වයසේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම කේරල ගංජා තොගය, සැකකරුවන් දෙදෙනා (02), මෝටර් රථ දෙක (02) සහ යතුරු පැදි දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.