තොටලඟ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

තොටලඟ කජීමාවත්ත ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක (02) සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

තොටලඟ කජීමාවත්ත ප්‍රදේශයේ ඇති වී ඇති හදිසි ගින්නක් මැඩපවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහාය ලබා දෙන ලෙස කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය මඟින් 2022 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රියේ බටහිර නාවික විධාන මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමක් සිදුකරන ලදි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල සහ ගැමුණු ආයතනයන්ට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක් (02) ගිනි නිවීමේ රථයක් සහ ජල බවුසර දෙකක් (02) සමඟින් එම ගින්න පාලනය කිරීම සඳහා තොටලඟ කජීමාවත්ත ප්‍රදේශයට යොමු කරන ලදී. එහිදී, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ අනෙකුත් ගිනි නිවීමේ කණ්ඩායම් සමඟ එක්ව ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව, තොටලඟ කජීමාවත්ත ප්‍රදේශයේ කුඩා නිවාස ආශ්‍රිතව ඇතිවී තිබූ ගින්න මැඩපවත්වා පාලනය කිරීමට කටයුතු කෙරිණි.

තවද, රටේ ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකදී ආපදාවට පත් වන මහජනතාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.