කාර්මික දෝෂයක් හේතුවෙන් මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මඟින් ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙයි

කාර්මික දෝෂයක් හේතුවෙන් එන්ජින් යන්ත්‍රය අක්‍රීයවී මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් පේදුරුතුඩුව සිට නාවික සැතපුම් 26 ක් (කි‍ලෝමිටර් 48 ක් පමණ) දුර උතුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිරීක්‍ෂණය කර, එම යාත්‍රාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදී ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ඇදගෙන ගොස්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඇනී බෙසන්ට් (ICGS Annie Besant) නෞකාව වෙත භාරදීමට අද (2022 සැප්තැම්බර් 28) උදෑසන නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයෙන් 2022 සැප්තැම්බර් මස 25 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති Bairavakali නමැති ඉන්දීය බහුදින ධීවර යාත්‍රාව, 2022 සැප්තැම්බර් මස 27 වන දින පස්වරුවේ සිට එහි එන්ජින් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය දෙසට පාවී යමින් ඇති බවත්, එම යාත්‍රාව සෙවීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසත්, ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සංඥාවක් නිකුත් කරන ලදි.

එම ආපදා සංඥාවට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අයත් හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ පී 484 වේග ප්‍රහාරක යාත්‍රාව ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයට පිටත් කර යැවීමට ක‍ටයුතු කරන ලදි. 2022 සැප්තැම්බර් 27 රාත්‍රියේ පේදුරුතුඩුව සිට නාවික සැතපුම් 26 ක් දුර උතුරු මුහුදේ පාවෙමින් තිබූ ආපදාවට පත් ඉන්දීය බහුදින යාත්‍රාව සොයාගත් පී 484 යාත්‍රාව, එම ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) හට අවශ්‍ය ආහාර පාන ඇතුළු මානුෂීය අධාර ලබාදිමට කටයුතු කරන ලදි.

ඒ අනුව, අද උදෑසන (2022 සැප්තැම්බර් 28) ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාව ඉන්දීය ධීවරයින් නව දෙනා (09) සමඟ නිරුපද්‍රිතව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත පී 484 යාත්‍රාව මඟින් ඇදගෙන ගොස් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඇනී බෙසන්ට් නෞකාව වෙත භාරදීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් කලාපය තුල අපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නිරන්තර දායකත්වය ලබාදෙනු ලබයි.