නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පාරමුනෛයි මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 07 වන දින උදෑසන සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 427 කට අධික (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත මැරීන් බළඝණයේ කණ්ඩායමක් විසින් 2022 ඔක්තෝබර් මස 07 දින උදෑසන පී 228 වෙරළබඩ මුර යාත්‍රාව මඟින්, කල්පිටිය, පාරමුනෛයි මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම මුර සංචාරයේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැක කටයුතු උර දහයක් (10) පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම උර තුළ අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 427 ග්‍රෑම් 800 ක පමණ තොගයක් (තෙත බර සහිත ) මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

තවද, නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා අවස්ථා 34 කදී සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 7585 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මේ දක්වා සිදු කළ මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 09 ක් ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.