නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් යාපනය පේදුරුතුඩුව, අම්පන් සහ චුන්ඩිකුලම් යන මුහුදු ප්‍රදේශයන්හි අද (2022 ඔක්තෝබර් 13) අළුයම සහ 2022 ඔක්තෝබර් මස 11 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු කරමින් සහ තහනම් ධිවර දැලක් භාවිතා කරමින් නීති වි‍රෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) කිමිදුම් උපකරණ සහ තහනම් ධීවර දැලක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අයත් පේදුරුතුඩුව නාවික අනුඛණ්ඩය මඟින් යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 ඔක්තෝබර් 13) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) කිමිදුම් උපකරණ සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2022 ඔක්තෝබර් මස 11 වන දින රාත්‍රියේ උතුරු නාවික විධානයේ ‍වෙත්තලකේණි නාවික ස්ථානගතකිරීමට අයත් මැරීන් කණ්ඩායමක් මඟින්, අම්පන් සහ චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයන්හී විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී, අම්පන් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් හයක් (06), ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ කිමිදුම් උපකරණද, චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ තහනම් ධීවර දැලක් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් හයක් (06), ඩිංගි යාත්‍රාවක් (01) සමඟ එම තහනම් ධීවර දැලද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 23ත් 43 ත් අතර වයසේ පසුවන යාපනය, මනල්කාඩු, මන්නාරම සහ මුල්ලිවෛක්කාල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. නාවික හමුදාව මඟින් 2022 ඔක්තෝබර් මස 11 වන දින නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, කිමිදුම් උපකරණ සහ තහනම් ධීවර දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය තලයඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි. තවද, අද (2022 ඔක්තෝබර් 13) අළුයම යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 396 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත. තවද, නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවන හානිය මැඩපැවැත්වීම සඳහා මෙන්ම නීත්‍යානුකූලව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.