කල්මුනේ, පෙරියනීලවනෛයි ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

කල්මුනේ, පෙරියනීලවනෛයි ප්‍රදේශයේ ලී මෝලක අද (2022 ඔක්තෝබර් 13) අළුයම් කාලයේදී ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීම සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

කල්මුනේ, පෙරියනීලවනෛයි ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ හදිසි ගින්නක් මැඩපවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට සහාය ලබා දෙන ලෙස කල්මුනේ පොලීසිය මඟින් අද (2022 ඔක්තෝබර් 13) අළුයම් කාලයේදී ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමක් සිදුකරන ලදි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායමක්, ජල බවුසරයක් සමඟින් එම ගින්න පාලනය කිරීම සඳහා කල්මුනේ, පෙරියනීලවනෛයි ප්‍රදේශයට යොමු කරන ලදී. එහිදී, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම, කල්මුනේ සහ අක්කරෛපත්තු මහ නගර සභාවන්ගේ ගිනි නිවීමේ ඒකකයන් හා එක්ව ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව, එම ලී මෝලෙහි ඇතිවී තිබූ ගින්න මැඩපවත්වා පාලනය කිරීමට කටයුතු කෙරිණි.

තවද, ඕනෑම හදිසි අවස්ථාවකදී මහජනතාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.