නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කල පුද්ගලයින් 05 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, වෙත්තලකේනී කුඩෙයිරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 13 වන දින රාත්‍රියේ සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) මුහුදු කූඩැල්ලන් 10,000 ක පමණ තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2022 ඔක්තෝබර් මස 13 වන දින රාත්‍රීයේ උතුරු නාවික විධානයේ ‍වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් මැරීන් කණ්ඩායමක් විසින් වෙත්තලකේනී කුඩෙයිරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ එම මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ මුහුදු කූඩැල්ලන් 10,000 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22ත් 35ත් අතර වයස්වල පසුවන කුච්චවේලී ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය, තලයඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.