නාවික හමුදාවේ A 521 නෞකාව මගින් පණිවිඩ සම්බන්ධතාවය ගිලිහී ගිය නාවික හමුදා යාත්‍රාව සොයා ගනියි

ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ විශේෂ ආවේක්‍ෂණ රාජකාරීන් සඳහා යොදවා තිබියදී පසුගිය 2022 සැප්තැම්බර් මස 17 වන දින සිට මාසයක පමණ කාලයක් පණිවිඩ සම්බන්ධතා ගිලිහී ගිය නාවික හමුදා යාත්‍රාව සමඟ අද (2022 ඔක්තෝබර් 18) දහවල් වන විට යළිත් පණිවිඩ සබඳතා ගොඩනඟා ගැනීමට, එම යාත්‍රාව සෙවීමේ මෙහෙයුමට අනුයුක්තව සිටි ඒ 521 නෞකාවට හැකිවිය.

මෙම යාත්‍රාව සමඟ පණිවිඩ හුවාමාරු සබඳතා ගිලිහී යාමෙන් පසුව 2022 සැප්තැම්බර් මස 26 වන දින සිට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා සහ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා එක්ව දකුණු මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම යාත්‍රාව සෙවීමේ මෙහෙයුම් ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයද මේ සඳහා ලබාගැනීමට නාවික හමුදාව කටයුතු කෙරිණි. එමෙන්ම නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකාවට යාබද සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථාන වෙත සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කළ අතර, එම මුහුදු ප්‍රදේශ ඔස්සේ යාත්‍රා කරනු ලබන ධීවර හා නාවික ප්‍රජාව දැනුවත් කිරීමටද කටයුතු කෙරිණි.

තවද, දැනට අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව, මෙම යාත්‍රාව දකුණු මුහුදු ප්‍රදේශයේ විශේෂ ආවේක්‍ෂණ රාජකාරීන් සිදුකරමින් සිටියදී යාත්‍රාවේ එන්ජින් යන්‍ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්වී, පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ යාත්‍රාව නාවික සැතපුම් 400 ක පමණ දුරක් (කිලෝ මිටර් 740 ක් පමණ ) ශ්‍රී ලංකාවට ගිණිකොන දිශාවෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර, ඒ හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 17 සිට නාවික හමුදාව සමඟ පණිවිඩ සම්බන්ධතා සම්පූර්ණයෙන් ගිලිහී ගොස් ඇත. පසුව යාත්‍රා සිටි නාවික පුද්ගලයන් විසින් එහි ඇතිවූ කාර්මික දෝෂය යථාතත්වයට පත්කර ගැනීමෙන් අනතුරුව, ගොඩබිම දෙසට යාත්‍රා කරමින් සිටියදී, මෙම යාත්‍රාව සෙවීමේ මෙහෙයුම සඳහා අනුයුක්තව සිටි ඒ 521 නෞකාව මඟින් අද (2022 ඔක්තෝබර් 18) දහවල් වන විට දකුණු මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව සමඟ මෙලෙස නැවත පණිවිඩ සබඳතා ගොඩනඟා ගැනීමට හැකිවිය.

ඒ අනුව, එම යාත්‍රාවේ සිටි නාවික පුද්ගලයන් හය (06) දෙනා නිරුපද්‍රිතව බේරාගැනීමෙන් අනතුරුව මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මඟින් වැඩිදුර පරීක්‍ෂණ සිදුකිරීමට නියමිතව ඇත. තවද, මෙම අතුරුදන් වූ යාත්‍රාව සෙවීමේ මෙහෙයුම් සඳහා දායක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකාවට යාබද සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු සියළුම පාර්ශවකරුවන් හට මෙන්ම, ස්වකීය මුහුදු සීමාවන්ගේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පණිවිඩ සබඳතා ගිලිහී ගිය නාවික හමුදා යාත්‍රාව සෙවීමට සහය වූ ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රෙලියාව ඇතුළු රාජ්‍යයන් වෙතද ශ්‍රී ලංකා නාවික හමුදාව සිය කෘතඥතාව පළකර සිටිනු ලැබේ.