මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ඔක්තෝබර් මස 19 වන දින රාත්‍රියේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් තුන් දෙනෙකු (03) කරෛයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්, 2022 ඔක්තෝබර් 19 වන දින රාත්‍රියේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා සිදුකරන ලදී. එහිදී, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් තුන් දෙනෙකු (03) සහ ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තුන් දෙනා (03) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.