නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 45 ක් ගාල්ල හබරාදුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගාල්ල හබරාදූව වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 ඔක්තෝබර් 23) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා සූදානම්ව රැඳී සිටි බවට සැකකෙරෙන පුද්ගලයන් 45 දෙනෙකු එම ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවදානයෙන් යුතුව මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය, හබරාදුව පොලීසියේද සහයෝගය ඇතුව අද (2022 ඔක්තෝබර් 23) උදෑසන ගාල්ල, හබරාදූව මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ ලැගුම්හලක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා යාත්‍රාවක් පැමිණෙන තෙක් එම ලැගුම්හලේ රැඳී සිටි බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් තිස්පස් දෙනෙකු (35), කාත්තාවන් හත් දෙනෙකු (07) සහ වයස අවුරුදු 18 ට අඩු තිදෙනෙකු (03) ඇතුළු පුද්ගලයන් 45 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම පිරිස ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බස් රථයක්ද එම ලැගුම්හල අසල නවතා තිබියදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සෝදිසි මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් පිරිස යාපනය, වව්නියාව, මන්නාරම, වෙන්නප්පුව සහ පුත්තලම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස සහ බස් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා හබරාදූව පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.